කථන භාෂා චිකිත්සක ප්‍රතිකාර – ආශ්‍රිත සටහන් 03

ඔයාලගේ ගෙදරත් ඉන්නවද ඇවිදින්න- පෙරලෙන්න, කතාබහ කරන්න එහෙමත් නැත්නම් පොඩි පොඩි ඉගෙනුම් වැඩ වලට ප්රමාද බවක් පෙන්වන පොඩ්ඩෙක්???
ටික දවසක් වැඩ කලාම හරි නොගියොත් කලකිරෙනවද?
බබාට බනිනවද?
කාලෙකින් හරියයි කියලා බලාගෙන ඉන්නවද?
එහෙනම් අපි බලමු ඇත්තටම අපි කරන්න ඕනේ මොනවද කියලා.
අම්මෙක් තාත්තෙක් විදියට මුලින්ම බබාගේ ප්රමාදයක් හෝ අක්රමතාවයක් තියෙනවද කියලා සොයාගන්න ඕනේ. සරලවම බබාගේ වර්ධන සටහන් පොතේ තියෙන කුසලතා ඒ ඒ කාලයේදී කරනවාද කියලා තමයි බලන්න ඕනේ. ලොකු බබා කරපු දේවල්, එහා ගෙදර බබා කරන දේවල්, මුහුණුපොතේ බබාලාගේ විස්තර – මේ දේවල් ගැන නම් ඔබ වද වෙන්නේ එතැනදී වෙන්නේ සංසන්දනයක්. දරුවෝ එකිනෙකා වෙනස්. නිවුන් බබාලා පවා වෙනස් වෙන තැන් තියෙනවා. ඒ නිසා සංසන්දනයකින් අපිට හරියටම බබා ප්රමාද ද නැද්ද , සාමන්යය ද නැද්ද, වගේ දේවල් සොයාගන්න අමාරුයි. හේතුව අපි සංසන්දනය කරන්නේ මොන විදියේ බබාලා එක්කද, මොන සමාජ පසුබිමක බබාලා එක්කද මොන විදියේ බුද්ධි මට්ටම් වල බබාලා ද වගේ ගොඩක් නොපෙනෙන කරුණු බබෙක් ගේ සංවර්ධනයට අදාලව බලන්න ඕන. එහෙම නැතුව කරන සංසන්දන නිවැරදි මට්ටම අපිට ලබා දෙන්නේ නැහැ.
හැබැයි බබාගේ වර්ධන සටහනේ තියෙන කඩයිම් මට්ටම් හදල තියෙන්නේ බබාලා ව හොදින් අධ්යයනය කරලා. ඒ වගේම අවම තත්ත්ව යටතේ පවා අත් කරගන්න පුළුවන් කුසලතා මට්ටම් ගැන හොදින් සලකලා තමයි එවැනි පිළිගත් මට්ටමක් නිර්ණය කරන්නේ. එහිදී අවම මට්ටමට වඩා සාමාන්ය මට්ටම ඉහල වෙන්නත් පුළුවන්. එතකොට නම් අම්මලාට හුගක් සතුටුයි.
ඒ නිසා බොහොම කාරුණිකව ඉල්ලන්න ඕනේ, අම්මෙක් හෝ තාත්තෙක් ගැටළුවක් ඇහුවම “මගේ බබා පරක්කු වුණා, නිකම්ම හරි ගියා, ඔයාගේ බබත් හරියයි” වගේ අදහස් පළ කරන්න කලින් හිතන්න ඔබේ පිළිතුර නිසා ප්රමාද බබෙක් නම්, අක්රමතාවයක් තියෙන බබෙක් නම් ඒ බබාට සිදුවෙන හානිය නැවත හදන්න බැරි තරම් වෙන්නත් පුළුවන්.
ඊළගට අපි බලමු ප්රමාදයක් හෝ වෙනසක් සොයා ගත්තට පස්සේ කරන්නේ මොනවද කියලා.
ඔබට මූලිකවම පුළුවන් ඔබේ පවුල් සෞඛ්ය සේවිකා මහත්මිය එක්ක කතා කරන්න. බබාගේ වයස අඩු නම් එතුමිය නිතර හමු වෙනවා. ඒ නිසා පහසුයි. ඊළගට පුළුවන් ඔබේ ළමා රෝග වෛද්යවරයා ගෙන් විමසන්න. හැබැයි මතක තබා ගන්න ඕනේ කාරණය තමයි එක් එක් ප්රමාද සහ අක්රමතා වලට විශේෂිත වෛද්යවරු සහ විශේෂිත වෘත්තීයවේදීන් සිටිනවා. ඔවුන් තරම් නිවැරදිවම දරුවාගේ ගැටලුව හදුනා ගන්න අන් අයට නොහැකි වෙන්න පුළුවන්. නමුත් එකවරම යොමු විය යුතු පුද්ගලයා කවුරුන්ද කියා නොදන්නා දෙමාපියන් බොහෝ සිටිනවා. ඒ නිසා මූලික උපදෙස් සදහා ඔබට ළගම පුද්ගලයා හෝ සම්බන්ධ කරගන්න ඕන. ඉන්පස්සේ ඔබට ලැබෙන උපදෙස් හොදින් පිළිපදින්න. එවිටත් වෙනසක් නැති නම් ඔබට පුළුවන් අදාල විශේෂිත වෛද්යවරයා සහ විශේෂිත වෘත්තීයවේදියෙකු වෙත යොමු වෙන්න.
ඔබට එකවරම අදාල විශේෂිත පුද්ගලයින් ට යොමු වෙන්න හැකියාවක් තිබෙනවා නම් වඩා හොදයි. ලංකාවේ හැමෝටම එහෙම පහසුකම් නැහැ වගේම සමහර අවස්ථාවල වෛද්යවරුන්ගේ සහ වෘත්තීයවේදීන්ගේ හිග බවක් තිබෙනවා. ඒ නිසා ඔබට පුළුවන් කෙනාගෙන් හරි නිවැරදි උපදෙස් ලබා ගන්න.
හැබැයි මේ කියපු ක්රියා පිළිවෙල ඉක්මනින් ඉටු වෙන්න ඕන. එක් එක් පියවරේ ගොඩක් කල් රැදුනොත් ප්රමාදය විශාල වෙන්න පුළුවන්.
ඉන්පස්සේ ඔබට ලැබෙනවා ප්රමාදයක් ද, අක්රමතාවයක්ද වගේ නිවැරදි විනිශ්චයක්. ඒ අනුව ඖෂධ, චිකිත්සක ප්රතිකාර වගේ දේවල් නියම කරනවා. ඒ එක්කම පවුලේ සාමාජිකයන් විසින් කලයුතු දේවල් ගැන උපදෙස් ලැබෙනවා. ඒ දේවල් නිවැරදිවම පිළිපදින්න ඕනේ පවුලේ හැමෝම. ආච්චිලා සීයලා ඒවා පිළිපදින්නේ නැත්නම් වහාම ඔබේ වෛද්යවරයාගේ හෝ වෘත්තීයවේදියාගේ සහය ලබාගෙන ඔවුන්ව දැනුවත් කරන්න.
අනික් කරුණ තමයි මැජික් ශිල්ප වලින් ප්රමාද හෝ අක්රමතා වෙනස් කරන්න බැහැ. ඒ කියන්නේ ඔබ යම් කාලයක් ඉවසීමෙන් වැඩ කරන්න ඕන. ඒ වගේම එක් රටාවකට පමණක් ක්රියාත්මක වෙන්නත් ඕන. අමතක කරන්න එපා. ප්රමාද වුනත් ගමන යන්න පුළුවන්. හැබැයි වේගය තීරණය වෙන්නේ පාර මොනවගේද, රෝද මොනවගේද, හුලං සහ තෙල් කොහොමද වගේම එන්ජින් එකේ මට්ටම වගේ කරුණු ගොඩක් මත.
අදාල වෘත්තීයවේදීන් ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපැදීම සහ ඉක්මනින් භාවිතයට ගැනීම අත්යවශ්ය බවත් හොදින් මතක තියාගන්න…
Scroll to Top