කථන භාෂා චිකිත්සක ප්‍රතිකාර – ආශ්‍රිත සටහන් 01

ඉස්සර අපි පොඩි කාලේ සමහර අපේ යාළුවො කතා කලේ ගොඩක් පරක්කු වෙලා… කිසිම ප්රතිකාරයක් නොකර උනත් එයාලගෙන් පිරිසක් ටිකක් ලොකු උනාම කතා කරන්න පටන් ගත්තා…
හැබැයි ඒකට ගොඩක් හේතු තිබුණා… වටපිටාව, පවුල් පරිසරය,ආහාර පාන, ලැබුණු අවස්ථා සහ සහයෝගය වගේ හේතු කීපයක්ම තිබුණත් ඒ අයගෙන් සමහරු අදටත් කතා කරන්න බැරුව ඉන්නවා කියලත් අමතක කරන්න බැහැ…
 
හැබැයි දැන් තත්ත්වය එදාට වඩා හුගක් වෙනස්. අපේ පරිසරය,ආහාර පාන විතරක් නෙමෙයි පවුල්වල තත්ත්වය පවා ඒ කාලෙට වඩා ගොඩක් වෙනස්… පවුල්වල සාමාජිකයන් ගණන අඩුවෙලා තියෙන්න පුළුවන්, අසල්වැසි දරුවෝ එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න වගේ දේවල් වලට දැන් අපේ දරුවන්ට අවස්ථාව ලැබෙනවා අඩුයි. අනික කොරෝනා තත්ත්වය එක්ක දරුවෝ විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් නිවෙස් ඇතුලෙම ඉන්න සිදු වෙලා තියෙනවා.
පරිසරය උනත් ඉස්සර වගේ ලොකු මිදුලක් එහෙම දැන් අපිට පෙනෙනවා අඩුයි. ඒකත් එක්කම පරිසරයේ කලබලකාරී බව වැඩි වෙලා තියෙනවා. සමහර දරුවන්ට අවට ශබ්ද නිසා හරියට නින්දක්වත් නොලැබෙන බව අම්මලා තාත්තලා අපිට දැනුම් දෙනවා.
සමාජයක් විදියටත් අපිට කුඩා දරුවෙකුව දන්නා හදුනන වැඩිහිටියන්ට විතරක් නෙමෙයි නව යොවුන් දරුවෙකු ලගටවත් යවන්න නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒත් එක්කම තනිවෙන දරුවන් රුපවාහිනී, යූ ටියුබ් ආදී දේවල් වලට යොමු වෙලා එයින් ඇතිවන බලපෑම් එක්ක ටිකක් කලබල සහ කෝපයට පත් වෙන දරුවෝ වෙලා. කාර්යබහුල දෙමාපියන්ටත් වැඩ වල පීඩනය නිසා හෝ වෙනත් හේතු නිසා දරුවෝ එක්ක කතා කරන්න ලැබෙන කාලය අඩු වෙලා තියෙනවා.
එතකොට අපේ ආහාරපාන රටාව සෑහෙන මට්ටමකින් වෙනස් වෙලා. කාර්යබහුල ජිවන රටාව එක්ක ක්ෂණික ආහාර සහ සීමිත ආහාර රටාවක් බොහෝ පවුල්වල තියෙනවා කියලා තමයි සායන වලදී අපිට දැනගන්න ලැබෙන්නේ.
අධ්යාපන ක්රමය, ඖෂධ සහ ලෙඩ රෝග, ජිවන රටාව ආදී තවත් බොහෝ දේවල් වල සිදුවෙලා තියෙන නොයෙකුත් වෙනස්කම් මම නොලිව්වත් ඔබ දන්නවා ඇති.
ඉතින් මේ වෙනස්කම් එක්ක දරුවෙකුගේ කතාව විතරක් නෙමෙයි වෙනත් කුමන හෝ ප්රමාදයක් හෝ වෙනසක් ඔබ දකිනවා නම් ප්රමාද නොකර වෛද්ය උපදෙස් ලබාගෙන අදාල ප්රතිකාර වලට යොමු වෙන්න.
ඔයාලගේ පැටියගෙත් කතාව පරක්කුයි වගේ දැනෙනවා නම්, ඔයාලට පුළුවන් කථන – භාෂා ව්යාධිවේදිනියක් / චිකිත්සකවරියක් හමුවෙලා පුංචි කතා පෙට්ටියට ඕන කරන බැටරි මොනවද කියලා අහගන්න අමතක කරන්න එපා… පුංචි කතා පෙට්ටිය කිව්වේ කාටද කියලා හිතාගන්න පුළුවන් නේද? ඒ ඔයාලගේ ආදරේ – පුංචි පැටියා… බැටරිය කියලා කිව්වේ කථන භාෂා චිකිත්සක ප්රතිකාර වලට… ලංකාව පුරාම දැන් කථන ව්යාධිවේදීන් සේවය කරනවා. ඒ වගේම රාජ්ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ඔන්ලයින් සේවා ගොඩක් තියෙනවා… ඉතින් ප්රමාදය පසුතැවිල්ලට හේතුවක් කරගන්නේ නැතුව ඔයාලගේ පැටියට අවශ්ය ප්රතිකාර ඉක්මනින් ලබාගෙන පුංචි කතා පෙට්ටියේ රස කතා අහන්න සූදානම් වෙන්න… කථන ව්යාධිවේදීන් ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපැදීම සහ ඉක්මනින් භාවිතයට ගැනීම අත්යවශ්ය බවත් හොදින් මතක තියාගන්න…
Scroll to Top